Body

ඩයලොග් සහ OREL එක්ව, ශ්‍රී ලාංකිකයන්ගේ ස්මාර්ට් ජීවන රටාව තාක්ෂණික නවෝත්පාදන හරහා සවිබල ගන්වයි

2026 අප්‍රේල් 21         කොළඹ

 

වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි IPTV සහ Smart Home නිෂ්පාදන කළමනාකරු රනෝජ් නොබට්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි පසුගෙවුම් හි Enterprise Business හි ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන කළමනාකරු ශානක ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා පීඑල්සී හි නිවාස ව්‍යාපාර අංශ ප්‍රධානී සම්පත් වෙල්හේනගේ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි මාධ්‍ය සහ නිවාස ව්‍යාපාර අංශ ප්‍රධානී, පුබුදු අලුත්ගෙදර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී, ලිම් ලී සැන්, OREL සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංජුල ප්‍රියදර්ශන, OREL සමාගමේ අධ්‍යක්ෂ - වත්කම් කළමනාකරණ සුදත් කුමාර, එම සමාගමේ නවෝත්පාදන අධ්‍යක්ෂ ආචාර්ය රංගික ද සිල්වා, OREL සමාගමේ විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සංවර්ධන අංශ ප්‍රධානී චේතනා අල්විස්, OREL සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවි, ගයාන් ලක්ෂාන් පෙරේරා සහ OREL සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු - අලෙවි සහ විකුණුම්, රඛිත වනිගසූරිය යන මහත්ම මහත්මීන් ඡායාරූපයට පෙනීසිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, ශ්‍රී ලාංකිකයින්ගේ ස්මාර්ට් ජීවන (Smart Living) අත්දැකීම් නව මානයක් කරා රැගෙන යාම සඳහා, තාක්ෂණික විසඳුම් සම්බන්ධ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන OREL Corporation (Pvt) Ltd සමගින් අත්වැල් බැඳගත් බව සතුටින් දැනුම් දෙන ලදී. ඩයලොග් සතු අතිනවීන ඩිජිටල් platforms වල ශක්තියත්, OREL සමාගමේ නවතම උපාංග නිෂ්පාදන හැකියාවත් එක්තැන් කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ස්මාර්ට් ජීවන අත්දැකීම් ඉහළ නැංවීම මෙම සහයෝගිතාවයේ අරමුණයි.

මෙහි සුවිශේෂී පියවරක් ලෙස, පාරිභෝගිකයින්ට අතිවිශාල වැඩසටහන් සහ විනෝදාස්වාද අන්තර්ගතයන් රැසක් තම ස්මාර්ට් රූපවාහිනියෙන් නැරඹිය හැකි පරිදි, Dialog Play Smart TV App එක OREL Smart TV මාදිලි සමඟ ඒකාබද්ධ කර ඇත. එපමණක් නොව, Smart Power Strips ඇතුළු තවත් ස්මාර්ට් නිවාස උපාංග රැසක්ම Dialog Smart Home App එක හා සම්බන්ධ කළ හැකිවන ආකාරයට, සම-සන්නාමිත නිෂ්පාදන ලෙස ඉදිරියේදී වෙළෙඳ පොළට නිකුත් කිරීමටද නියමිතය.

විනෝදාස්වාදය සහ ස්මාර්ට් නිවාස විසඳුම් එකම පද්ධතියක ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා ඩිජිටල් අත්දැකීම් වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීම මෙම සහයෝගීතාවයේ ප්‍රධානතම අරමුණයි. මෙම සහයෝගිතාවය හරහා, නිෂ්පාදන සැලසුම් කිරීම සහ නිපදවීම සම්බන්ධයෙන් OREL සතු දේශීය විශිෂ්ටත්වයත්, ඩයලොග් සතු පුළුල් ඩිජිටල් Platforms සහ අසමසම පාරිභෝගික ජාලයත් ඒකාබද්ධ කෙරේ. එම ප්‍රබල ශක්තිය තුළින්, ශ්‍රී ලංකාවේ ස්මාර්ට් තාක්ෂණික පද්ධතිය තවදුරටත් පුළුල් කරමින්, අනාගත තාක්ෂණික නවෝත්පාදන උදෙසා ශක්තිමත් පදනමක් දැමීම අපේක්ෂාවයි.

මෙම සුවිශේෂී හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිම් ලී සැන් මිය මෙසේ සඳහන් කළාය: “ඩයලොග් අපගේ නිරන්තර උත්සාහය වන්නේ, පාරිභෝගිකයින් තාක්ෂණය භාවිත කරන ආකාරය වඩාත් සරල සහ පහසු කිරීමයි. OREL සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාවය හරහා Dialog Play App එක, දැන් OREL ස්මාර්ට් රූපවාහිනියට එක් කිරීමට ලැබීම අපගේ සතුටට කාරණයක්. ඒ අනුව, පාරිභෝගිකයින්ට කිසිදු අමතර උපකරණයක් මිලදී නොගෙන, පැය 50,000කට අධික කාලයක අසමසම විනෝදාස්වාද අත්දැකීම් ලබාගැනීම හැකිවීම මෙහි ඇති සුවිශේෂී වාසියයි. එමෙන්ම, දේශීය වශයෙන් නිෂ්පාදනය කළ උසස් ස්මාර්ට් නිවාස උපාංග අපගේ Dialog Smart Home App එක සමඟ මෙලෙස ඒකාබද්ධ කිරීම, ශ්‍රී ලාංකිකයින්ගේ ස්මාර්ට් ජීවන රටාව නවතම මානයකට රැගෙන යාමේ තීරණාත්මක පියවරක්.”

මෙම සුවිශේෂී සහයෝගිතාව පිළිබඳ අදහස් පළ කළ OREL Corporation හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංජුල ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළේ මෙසේය. “සැලසුම් ඉංජිනේරු විද්‍යාව (design engineering), දෘඪාංග සංවර්ධනය (hardware development) සහ නිෂ්පාදන හැකියාව යන අංශ තුනම පූර්ණ වශයෙන් ඒකාබද්ධ වූ, ශ්‍රී ලංකාවේ අතළොස්සක් වූ සමාගම් අතර OREL පෙරමුණේ පසුවන සමාගමක්. ඒ අනුව, සැබෑ නිර්මාණාත්මක දක්ෂතා පදනම් කරගනිමින්, ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුතු, උසස් ප්‍රමිතියේ නිෂ්පාදන පාරිභෝගිකයා වෙත සමීප කිරීමට අප සමත්ව සිටිනවා. ඩයලොග් සමඟ අප ඇති කරගත් මෙම ශක්තිමත් සම්බන්ධතාවය ඔස්සේ අපගේ විශිෂ්ට දෘඪාංග තාක්ෂණය සමග ඩයලොග් හි සරල ඩිජිටල් Apps ඒකාබද්ධ කර, ශ්‍රී ලාංකිකයින්ට උසස්ම ස්මාර්ට් නිවාස අත්දැකීමක් ලබාදීමට දැන් හැකියාව ලැබී තිබෙනවා. මෙමඟින් මෙරට ස්මාර්ට් පද්ධතිය තවදුරටත් ශක්තිමත්ව, වෙළෙඳ පොළ අතින්ද සැබෑම සාර්ථක විප්ලවයක් සිදුකරනු ඇති බවට අපට විශ්වාසයයි.”

ඩයලොග් සහ OREL අතර සහයෝගිතාවයේ මූලික අභිලාෂය, ශ්‍රී ලාංකික අනන්‍යතාවයට සහ ජීවන රටාවට වඩාත් ගැළපෙන ප්‍රායෝගික විසඳුම් හඳුන්වා දෙමින් මෙරට ස්මාර්ට් තාක්ෂණික විප්ලවය වේගවත් කිරීමයි. ඒ අනුව, එදිනෙදා ඩිජිටල් අත්දැකීම් වඩාත් සරල, බුද්ධිමත් සහ අර්ථවත් මට්ටමකට ඔසවා තබමින්, තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු දියුණු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට සමාගම් දෙකම කැපවෙයි.